දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (13) සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අහංගම, තිරුක්කෝවිල්, වැලිවේරිය සහ පිටිගල යන ප්‍රදේශවල මෙම අනතුරු වාර්තා වී ඇත.
අහංගම පොලිස් බලප්‍රදේශයේ අහංගම – ඉමදූව මාර්ගයේ කටුගහවත්ත හන්දිය ආසන්නයේදී අලුයම සිදුවූ අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත. ඉමදූව සිට අහංගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණකරු අහංගම, පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම තිරුක්කෝවිල් – පොතුවිල් මාර්ගයේ කොරකලපුව වැව ආසන්නයේදී උදෑසන සිදුවූ තවත් අනතුරකින් 42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තිරුක්කෝවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව තිබූ අතර, තුවාල ලැබූ පැදිකරු තිරුක්කෝවිල් රෝහලෙන් අක්කරපත්තු රෝහලට මාරු කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
වැලිවේරිය පොලිස් වසමේ රතුපස්වල – හේනේගම මාර්ගයේ කඳුවත්ත ප්‍රදේශයේදී සවස සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. හේනේගම සිට රතුපස්වල දෙසට ගමන් කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසුපැදිකරු ලොරි රථයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
තවත් අනතුරක් පිටිගල – පැලවත්ත මාර්ගයේ බොරළුහේන ප්‍රදේශයේදී උදෑසන වාර්තා වී තිබේ. පැලවත්ත සිට පිටිගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් බෝක්කුවක ගැටීමෙන් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත. බරපතළ තුවාල ලැබූ ඔහු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබූ අතර, මරණකරු පිටිගල, පත්තරහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සියලු අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.