අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. නිවසක සිටි පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ හිස කපාගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවේ දෑත් මත තැබීම මෙම සිද්ධියේ විශේෂත්වයයි.
මෙම අපරාධය සඳහා තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, ඔවුන් සියලුදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි ලක්මාල් සඳරුවන් හෙවත් “පොඩී” නමැති පුද්ගලයෙකි. ඔහුගේ උපන්දිනය යෙදී තිබූ පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය අනාවරණය කළේය.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, “පොඩී” 2025 පෙබරවාරි 2 වැනිදා මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට සැකකරුවෙකු ලෙස නම්කර සිටි පුද්ගලයෙකු බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු, පසුගිය මාර්තු 30 වැනිදා ඇප මත නිදහස් කර තිබුණි.
පොලීසිය පවසන්නේ, සලිත උදයංග මල්ලිකාරච්චි හෙවත් “මෙත්ත ලොකු”, චමීර උදයංග සහ සාරංග දර්ශන යන අය මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින්ද සැකකරුවන් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
චමීර උදයංග සිද්ධිය වූ දිනම අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
පෙර සිදුවූ ත්‍රිත්ව ඝාතනයේ මියගිය අසංක මල්ලිකාරච්චි හෙවත් “මෙත්ත පොඩී” යනු, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන “මෙත්ත ලොකු”ගේ සහෝදරයා බවද හෙළිවී තිබේ. ඒ අනුව, සිය සහෝදරයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස “පොඩී” ඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
තවද, “මෙත්ත පොඩී” ඇතුළු තිදෙනා ඝාතනය කර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදෙන බවට ඇතිවූ සැකයක් මත බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනයේදී හිස කපාගෙන ගොස් රත්නාවලී දේවියගේ පිළිරුව මත තැබීම සිදුකර ඇත්තේ, ප්‍රදේශයේ අනෙක් පිරිස් බියගැන්වීමේ අරමුණින් බවටද පොලීසිය සැක පළ කරයි. එමෙන්ම, සැකකරුවන් බීමතින් සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත.
විමර්ශනවලදී තවත් හෙළිවී ඇත්තේ, “මෙත්ත පොඩී”ගේ මවගේ සහෝදරයා වන රංජිත් ප්‍රියන්ත එදිරිවීර හෙවත් “කරුණ ලොක්කා” මෙම ඝාතනය සැලසුම් කර මෙහෙයවා ඇති බවට සැක කරන බවයි. ඔහුට එරෙහිව නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා රැසක්ද එල්ලවී තිබේ.
ඝාතනය සිදුවූ දිනයේ උදෑසනම “කරුණ ලොක්කා” අගුණුකොලපැලැස්ස අධිකරණයට භාරවී ඇති අතර, ඇප නොලැබීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලීසිය සැක කරන්නේ, ඝාතනය මෙහෙයවූ බවට එල්ලවිය හැකි චෝදනා මගහැරීමේ අරමුණින් ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බවයි.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පැනනැගුණු ගැටුම් මෙම ඝාතන මාලාවට හේතුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහ සහකාර පොලිස් අධිකාරී විජේබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලීසිය විසින් සිදුකරයි.