එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක අද උදෑසන ( 13 ) සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් උසස් පෙළ සිසුන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ සිසුන් කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මේ වනවිට නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙකි. පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසිනි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සිසුවා සහ තුවාල ලැබූ එක් සිසුවෙකු අතර දින කිහිපයකට පෙර ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවයි. එම අමනාපය පදනම් කරගෙන පළිගැනීමේ චේතනාවෙන් අද උදෑසන සැකකාර සිසුවා තියුණු ආයුධයක් රැගෙන පාසලට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
එහිදී ඔහු එක් සිසුවෙකුට පහරදීමට උත්සාහ කිරීමේදී, එය වැළැක්වීමට සහ තම මිතුරා බේරාගැනීමට මැදිහත් වූ සෙසු සිසුන් සිව්දෙනාටද පිහි ප්‍රහාර එල්ල වී තුවාල සිදුව ඇති බව සඳහන් වේ.
සිද්ධියෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ එප්පාවල පොලිසිය, ප්‍රහාරයට යොදාගත් කුඩා පිහිය සමඟ සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලැබූ සිසුන් පස්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.