2015 වසරේ රටම කම්පාවට පත් කළ යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තහවුරු කළේය.
එම දඬුවම් අවලංගු කරමින් තමන් නිදොස් බව ප්‍රකාශ කර නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කර ප්‍රතික්ෂේප කරමින්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නායකත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දී ඇත.
එසේම, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට නියම කර තිබූ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මරණීය දණ්ඩනයට ලක්ව සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කර තිබුණි.
2015 මැයි 13 දින හෝ එයට ආසන්න දිනයක, යාපනයේ පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසලෙන් නිවසට පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියක් වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාව මත, ස්විස් කුමාර් ඇතුළු සැකකරුවන් පිරිසක් එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුණි.
එම නඩුවේදී වැරදිකරුවන් ලෙස තීරණය වූ විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 දී මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
ඒ දඬුවම් ඉවත් කරමින් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනා විභාගය අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.