Breaking

Post Top Ad

Thursday, May 7, 2026

කාන්තාවන් 4 දෙනෙක්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් දේපළ රැසක් තහනම් කරයි

 මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන ගණනක් වටිනා දේපළ කිහිපයක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය පියවර ගෙන තිබේ.


පානදුර මහවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතීන් පිරිසක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම දේපළ හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු පසුගිය මාර්තු 13 සහ අප්‍රේල් 02 දිනවල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


තවත් සැකකරුවන් දෙදෙනෙකු වෙනත් මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙන් දැනටමත් බන්ධනාගාරගතව සිටි අතර, මෙම නඩුවට අදාළව ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් 28 සහ 53 හැවිරිදි මහවිල සහ මාදුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.


විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් මුදල් යොදා මිලදී ගත් බවට සැක කෙරෙන මහවිල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක් සහ ඉඩමක්, පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පර්චස් 10.75ක ඉඩමක් සහ මාදුපිටිය ප්‍රදේශයේ තවත් නිවසක් සම්බන්ධයෙන් විකිණීම හා පැවරීම තහනම් කරමින් නියෝග නිකුත් කර ඇත.


මේ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේපළ සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සිදු කළ නොහැකි බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Top Ad

Pages