රත්තරන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 1800ක මුදලක් වංචා කළේ යැයි චෝදනා ලැබූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6) නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා එදින හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් සැකකරුවන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කොළඹ හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවන් රත්තරන් භාණ්ඩ ඇති බව පෙන්වා ඒවා ලබාදෙන බවට පවසා මුදල් ලබාගෙන භාණ්ඩ ලබා නොදී වංචා කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
මෙම මුදල් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.