සීදුව පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රදේශයක 79 හැවිරිදි කාන්තාවක ඝාතනය කර ඇයගේ මළසිරුර ගමන් මල්ලක් තුළ සඟවා තිබියදී ඊයේ (20) පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ සීදුව, මුක්කලංගමුව, පියසමර ප්‍රදේශයේ පදිංචි ගර්ලි චන්ද්‍රනී නම් 79 හැවිරිදි කාන්තාවකි.
අදාළ නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ලද තොරතුරක් මත සීදුව පොලිසියේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී නිවසේ කාමරයක තිබූ ගමන් මල්ලක් තුළින් කාන්තාවගේ මළසිරුර සොයාගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම නිවසේ නඩත්තු කටයුත්තක් සඳහා පැමිණ සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවයි. ඔහු දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවෙකු බවද අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන්නේ කාන්තාව සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇති බවයි. ඝාතනයෙන් අනතුරුව මළසිරුර ගමන් මල්ලක් තුළ සඟවා තිබූ බවද සඳහන් වේ.
සිද්ධිය වූ ස්ථානයට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා සහ රජයේ වෛද්‍ය නිලධාරී එම්. වී. පී. ප්‍රමෝද් පැමිණ මූලික විමර්ශන හා මෘත දේහ පරීක්ෂණය සිදුකර තිබේ.
මෙම ඝාතනය සහ කොල්ලකෑම සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.