Breaking

Post Top Ad

Friday, May 22, 2026

අඹුසැමි යුවළගේ කුඩු විකුණා මිලට ගත් දේපළ අක්‍රීය කරයි

 

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් ඊෂි කෑෂ් ක්‍රමය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට අනාවරණය වීමෙන් අනතුරුව, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2026 මැයි 20 වනදා අතුරුගිරිය ඔරුගොඩ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.


අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකි. බොරැල්ල බේස්ලයින් මාවතේ සිරිසර උයන ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ 2017 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එම ජාවාරමෙන් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති බවද නිලධාරීන් හෙළි කරගෙන තිබේ. අනතුරුව එම මුදල් යොදාගෙන අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට ප්‍රදේශයේ 08 වන පටුමගෙන් පර්චස් 6 ක ඉඩමක් සහ නිවසක් මිලදී ගෙන ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.


2023 දෙසැම්බර් මාසයේදී රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලක් වැය කර මෙම දේපළ මිලදී ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව අදාළ නිවස සහ ඉඩම 2026 මැයි 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයක් සඳහා අක්‍රීය කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.


මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් තැන්පත් කර ඇති බැංකු ගිණුම් 06ක් සම්බන්ධයෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම ගිණුම් සැකකරු, සැකකාරිය සහ ඇයගේ මවගේ නම් වලින් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් වේ.


තවද, සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Post Top Ad

Pages