මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධියට අදාළව වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය නිවසේ ගෙවත්තේ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවී තිබේ.
අද පස්වරුවේ කුලියාපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, රාජපක්ෂ මහතාගේ දියණිය ගෙවත්තේ වැටී සිටි ඔහු දැක මවට දැනුම් දී ඇති අතර, අනතුරුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පොලිස් පරීක්ෂණවලදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල විශාල ලේ පැල්ලමක් හමු වූ අතර, ඔහුගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක්ද නිරීක්ෂණය කර තිබේ. එම ස්ථානය ආසන්නයෙන් කුඩා පිහියක්ද සොයාගෙන ඇත.
මේ හේතුවෙන් මෙය ඝාතනයක්ද, සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
රාජපක්ෂ මහතා ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා විමර්ශන සඳහා සහාය ලබාදී තිබූ අතර, ඔහුගේ පරිගණකයද CID භාරයට ගෙන තිබුණි.
මුල් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ව්‍යාජ ඊමේල් පණිවුඩයක් මඟින් හැකර්වරුන්ට මුදල් යැවීමේ මූලික ක්‍රියාවලිය ඔහුගේ නොසැලකිල්ලෙන් සිදුව ඇති බවයි. කෙසේවෙතත්, ඔහු දූෂිත නිලධාරියෙකු බවට හෝ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් හමු වී නැති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
වැඩතහනමෙන් පසු ඔහු දැඩි මානසික පීඩාවකින් සිටි බවත්, ඔහුගේ මරණය මෙම විමර්ශනවලට බරපතළ බලපෑමක් වන බවත් උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.