Breaking

Post Top Ad

Friday, May 1, 2026

බැංකු ගිණුමක ඇති මුදලක් ලබාගැනීමට මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල අරං බැංකුවට ගිහින්

 

බැංකු ගිණුමක තැන්පත් මුදලක් ලබාගැනීම සඳහා ගිණුම්හිමියාම පැමිණිය යුතු බවට බැංකු නිලධාරීන් දැනුම් දීමෙන් පසු, මියගිය තම සහෝදරියගේ සොහොන හාරා ඇයගේ ඇටසැකිල්ල රැගෙන බැංකුවට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මේ දිනවල මුළු ඉන්දියාවම කම්පනයට පත් කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ කෙන්දුජාර් ප්‍රදේශයෙන් වන අතර, එහි පදිංචි ජීතු මුන්ඩා නම් නූගත් ගෝත්‍රික වයෝවෘද්ධයෙකුට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ.


ඔහු ඔඩිෂා ග්‍රාමීන් බැංකුව වෙත පැමිණියේ මියගිය තම සහෝදරිය වන කල්රා මුන්ඩාගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබූ රුපියල් 19,000ක මුදල ලබාගැනීමේ අරමුණින්ය. කෙසේ වෙතත්, නීතිමය ක්‍රියාපටිපාටිය අනුව මියගිය පුද්ගලයෙකුගේ ගිණුමේ මුදල් නිදහස් කිරීම සඳහා මරණ සහතිකය සහ නීත්‍යානුකූල උරුමක්කාරත්වය තහවුරු කරන ලියවිලි ඉදිරිපත් කළ යුතු බව බැංකු නිලධාරීන් ඔහුට පැහැදිලි කර තිබුණි.

නමුත් නූගත්භාවය සහ තත්ත්වය පිළිබඳ අවබෝධය නොමැතිකම හේතුවෙන් එම ක්‍රියාවලිය නිවැරදිව වටහා ගැනීමට ඔහුට නොහැකි වූ බව වාර්තා වේ. බැංකුව පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, ජීතු මුන්ඩා බැංකුවට පැමිණි අවස්ථාවේ බීමතින් සිටි බවත්, නීතිමය අවශ්‍යතා කිහිප වතාවක් පැහැදිලි කළද ඔහු ඒවා පිළිගැනීමට සූදානම් නොවූ බවත්ය.


කෙසේ වෙතත්, ගිණුම්හිමියා නොමැතිව මුදල් ලබාදිය නොහැකි බව බැංකුව දිගින් දිගටම ප්‍රකාශ කිරීමෙන් පසු, අන්ත අසරණභාවයට පත් වූ ජීතු මුන්ඩා සිදුකළ ක්‍රියාව සියල්ලන්ම කම්පනයට පත් කළේය.


ඔහු තම සහෝදරිය වළදමා තිබූ සොහොන වෙත ගොස් එය හාරා, ඇයගේ ඇටසැකිල්ල රෙදි කඩක ඔතාගෙන නැවත බැංකුව වෙත පැමිණ තිබුණේ “ගිණුම්හිමියා රැගෙන එන්න” යැයි තමන්ට පැවසූ ඉල්ලීම ඉටුකිරීමේ අරමුණින් බව සඳහන් වේ.


මෙම සංවේදී සිදුවීම දුටු ජනතාව දැඩි කම්පනයට පත් වූ අතර, සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමඟ මහජන විරෝධයක්ද මතු විය.


ඒ අනුව රජයේ බලධාරීන් වහාම මැදිහත් වී කල්රා මුන්ඩාගේ මරණ සහතිකය සහ උරුමක්කාරත්වය තහවුරු කරන ලේඛන කඩිනමින් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.


වාර්තා වන අන්දමට කල්රාගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයාද මීට පෙර මියගොස් ඇති අතර, එම නිසා පොලිසිය සහ ගම්වාසීන් ඉදිරිපිටදී අදාළ මුදල ජීතු මුන්ඩාට සහ ඇයගේ තවත් ඥාතීන් දෙදෙනෙකුට ලබාදීමට ඔඩිෂා ග්‍රාමීන් බැංකුව කටයුතු කර තිබේ.


මෙම සිදුවීම නැවත වරක් සමාජයට මතක් කර දෙන්නේ නීතිය සහ පරිපාලන ක්‍රමවේදයන් මිනිසුන්ගේ පහසුව සඳහා නිර්මාණය වූවක් මිස, අසරණ මිනිසුන් අතිශය වේදනාකාරී තීරණවලට තල්ලු කිරීමට හේතු නොවිය යුතු බවයි.

Post Top Ad

Pages