පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට නියෝග කර තිබේ. ඒ සමඟම, චෝදනාවට ලක්වූ මහාචාර්යවරයාට මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක කිසිදු නිල හෝ ගෞරව තනතුරක් දැරීමද තහනම් කර ඇත.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනි.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන ශ්‍රේණියේ කථිකාචාර්යවරියක වන දන්ත වෛද්‍ය උදාරි අබේසිංහ මහත්මිය විසිනි. ඇය සිය උපාධි සමීක්ෂකයා වූ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
පෙත්සමට අනුව, අදාළ මහාචාර්යවරයා විසින් අවස්ථා කිහිපයකදී ලිංගික හිංසනයට ලක් කළ බවට චෝදනා කරමින් පෙත්සම්කාරියගේ මව විසින් විශ්වවිද්‍යාල බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසුව මහාචාර්යවරයාට එරෙහිව චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කර ඇති අතර, ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට තීරණය කර තිබුණද, සනාතන සභාව විසින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව අධිකරණයේදී අනාවරණය විය.
මෙම තත්ත්වය හේතුවෙන් පෙත්සම්කාරිය මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද පැමිණිලි කර ඇති අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.
නඩුව විභාග කිරීමේදී, සනාතන සභාව විසින් පෙත්සම කාලාවරෝධී වී ඇති බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය මගින් තහවුරු කර ඇති වෘත්තියක නියැලීමේ නිදහස, සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලතල සැලකිල්ලට ගනිමින් පෙත්සම්කාරියට සහනයක් ලබාදීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
ඒ අනුව, මහාචාර්ය ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතාට මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක තනතුරක් දැරීම සම්පූර්ණයෙන් තහනම් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර ඇත.
තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ලිංගික හිංසනවලින් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර වහාම ක්‍රියාත්මක කරන ලෙසද සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩු විභාගයේදී පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ අමීෂා ටීකල් මහත්මිය පෙනී සිටි අතර, පළමු වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියහ.