මව්කුස තුළ මාස නවයක් පුරා ආරක්ෂිතව වැඩුණු බිළිඳෙකු මෙලොව එළිය දකින මොහොතේම ජීවිතය අහිමි වීම ඕනෑම පවුලකට දරාගත නොහැකි වේදනාවකි. එවැනිම අවාසනාවන්ත සිදුවීමක් පසුගිය අප්‍රේල් 09 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට, එදින පෙරවරු 8.45ට පමණ සූතිකාගාරයේදී දරු ප්‍රසූතියකට සූදානම් වෙමින් සිටි මවකගේ බිළිඳාට අසූචි පෙවීම හේතුවෙන් දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී තිබේ. වාට්ටුව භාර වෛද්‍යවරිය විසින් එම තත්ත්වය පිළිබඳව වහාම අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියට දුරකථන ඇමතුම් හයක් මගින් දැනුම් දී තිබුණද, බිළිඳාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔවුන් කිසිවෙකුත් සූතිකාගාරය වෙත පැමිණ නොමැති බව අනාවරණය වී ඇත.
මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී අදාළ වෛද්‍යවරුන් දෙදෙනාම ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිට ඇති බවයි. එමෙන්ම, පසුව රජයේ රෝහලේ රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් යොදා තමන් සේවයේ නිරත වූ බව පෙන්වීමට උත්සාහ කර ඇති බවද පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන දෙදෙනාය.
වැඩ තහනම් කාලය තුළ ඔවුන්ට විදෙස්ගත වීම තහනම් කර ඇති අතර, පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කළ යුතු බවටද නියෝග නිකුත් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර දැඩි සංවාදයක් මතුව ඇති අතර, වෛද්‍ය වෘත්තියේ සදාචාරය, වෘත්තීය වගකීම් සහ රජයේ සෞඛ්‍ය සේවාවේ විශ්වාසනීයත්වය පිළිබඳවද බරපතළ ප්‍රශ්න රැසක් මතු වී තිබේ.