Breaking

Post Top Ad

Wednesday, May 13, 2026

පෙම්වතා බොරු පිස්තෝලයක් පෙන්වා පෙම්වතිය පැහැර ගන්න හදලා

 වසර තුනක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව කියන 20 හැවිරිදි තරුණියක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් පැහැර ගැනීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 12 දා අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු සහ හබරකඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඔහුගේ මිතුරෙකු සිටින බව පොලිසිය සඳහන් කළේය.


පොලිස් විමර්ශන අනුව, සැකකරු ලෙස හඳුනාගත් පුද්ගලයා මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක සමග වසර තුනක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.


එම කාලය තුළ දෙදෙනා අවස්ථා රැසකදී හමුවී ඇති අතර, පසුව අදාල පුද්ගලයා විවාහකයෙකු මෙන්ම එක්දරු පියෙකු බව තරුණිය විසින් දැනගෙන ඇතැයි සඳහන්ය. අනතුරුව සැකකරුගේ බිරිඳ මෙම සම්බන්ධතාවය පිළිබඳව දැනුවත් වී විවාහ සහතිකය ඇතුළු තොරතුරු කිහිපයක් තරුණියගේ වැඩිහිටියන් වෙත යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


ඒ අනුව තරුණියගේ මාපියන් මෙම සම්බන්ධතාවයට විරෝධය පළ කර තිබූ අතර, ඉකුත් 08 වැනිදා උදෑසන 8ට පමණ සැකකරු තවත් පුද්ගලයෙකු සමග මෝටර් රථයකින් තරුණියගේ නිවසට පැමිණ ඇතැයි පැවසේ. එහිදී ඔවුන් පිස්තෝලයක් පෙන්වා තරුණිය පැහැරගෙන යාමට උත්සාහ කර ඇති අතර, තරුණියගේ මාපියන් සහ ඥාතීන් ඊට විරෝධය දැක්වීමත් සමග සැකකරුවන් මෝටර් රථයෙන් පලා ගොස් ඇති බව මත්තේගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Post Top Ad

Pages