Breaking

Post Top Ad

Wednesday, May 13, 2026

ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

 ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි. මූල්‍ය පොලී සහ වාහන අලෙවි ව්‍යාපාරවල නියැලී සිටි මෙම පුද්ගලයා ඊයේ (12) උදෑසන 7.30ට පමණ දංගෙදර ඩික්මන් හන්දිය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුංචි හේවාගේ ප්‍රසාද් නැමැති ව්‍යාපාරිකයෙකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පහසුවක් වන අයුරින් ඔහු මීට මාස හයකට පමණ පෙර දංගෙදර ප්‍රදේශයේ කුලී නිවසක බිරිඳ සහ දරුවන් සමඟ පදිංචියට පැමිණ තිබූ බව සඳහන් වේ.


සිද්ධිය වූ දිනයේදී දරුවන් පාසලට ඇරලවා නැවත නිවස වෙත පැමිණි අවස්ථාවේ ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අතරතුර තවත් මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුගෙන් අයෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහුගේ බිරිඳද මෝටර් රථය තුළ සිට ඇති නමුත් ඇයට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව පොලිසිය පවසයි. බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවිය හැකි බවට සැක පළ කරන බවයි. එමෙන්ම වෙනත් පෞද්ගලික හේතු මත සැලසුම් සහගත කොන්ත්‍රාත් ඝාතනයක්ද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය ව්‍යාපාරිකයා මීට පෙරද තම ජීවිතයට තර්ජනයක් ඇති බවට පොලිසිය දැනුවත් කර තිබූ බවයි. තම ගමන් බිමන් පිළිබඳව කිසියම් පිරිසක් සොයා බලන බවට ඔහු පැමිණිල්ලක්ද කර තිබූ අතර, පසුව කාලයකට එම නිවසෙන් ඉවත්ව සිට නැවත සති කිහිපයකට පෙර එහි පදිංචියට පැමිණ ඇති බව සඳහන් වේ.

අපරාධකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇඟිලි සලකුණු සහ අනෙකුත් සාක්ෂි පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශද විමර්ශන ආරම්භ කර තිබේ. මේ වන විට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

Post Top Ad

Pages