Breaking

Post Top Ad

Friday, May 15, 2026

දෙදරු මව ගේ ඝාතනය සම්බන්ධයෙන් පොල් කඩන්නෙකු අත්අඩංගුවට

 

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ නිවසක් තුළ 58 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියකට අදාළව 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මිල්ලනිය පොලිසිය සඳහන් කරනවා.


අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් පොල් කඩන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.


මෙලෙස මියගොස් ඇත්තේ කැන්නන්තුඩාව, හල්තොට ප්‍රදේශයේ පදිංචි පී. සුධම්මි පල්ලියවත්ත නමැති විවාහක කාන්තාවක්.


පසුගිය 11 වැනිදා ඇය නිවස තුළ මියගොස් සිටින බවට අසල්වාසීන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා.


මුල් අවස්ථාවේදී සැක සහිත තත්ත්වයක් නිරීක්ෂණය නොවූ බැවින්, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත යොමු කර තිබුණා.


කෙසේ වෙතත්, 13 වැනිදා සිදු කළ පරීක්ෂණයේදී මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ තැලුම් සලකුණු හඳුනාගැනීමත් සමඟ එය සැක සහිත මරණයක් බව වෛද්‍යවරුන් විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා.


ඒ අනුව, අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හොරණ මහේස්ත්‍රාත් කේ.පී.ආර්. ලක්මිණී විදානගමගේ සිද්ධිය වූ නිවස වෙත පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබුණා.


පසුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කර ඇති අතර, එම පරීක්ෂණය හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් සිදු කර තිබෙනවා.


එහිදී අනාවරණය වී ඇත්තේ නාසය, මුඛය, ගෙල සහ උරහිස් ප්‍රදේශ බාහිර බලයකින් තෙරපීම හේතුවෙන් ශ්වසනය අවහිර වී මෙම ඝාතනය සිදුව ඇති බවයි.


පශ්චාත් මරණ වාර්තාවෙන් අනතුරුව ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසිය සිදු කළ විමර්ශනවලදී, මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැකකරු හෙට (15) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Post Top Ad

Pages