Breaking

Post Top Ad

Friday, May 15, 2026

රත්තරන් බඩු සාප්පු­ව­ලින් බඩු ඉස්සූ අම්මයි දුවයි කොටුවෙයි

 දෙහිවල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මුදුවක් වංචාකාරී ලෙස සොරකම් කළ බවට සැකපිට මවක් සහ ඇයගේ බාලවයස්කාර දියණියක් පසුගිය 12 වැනිදා දෙහිවල පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය සඳහන් කළේ, සැකකාරියන් අදාළ වෙළෙඳසැලට පැමිණ රන් භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන ලෙස හැසිරෙමින් සැබෑ රන් මුදුවක් වෙනුවට ව්‍යාජ මුදුවක් මාරු කර පලාගොස් ඇති බවයි. පසුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් වලල්ලාවිට ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.


ප්‍රධාන සැකකාරිය තිස්තුන් හැවිරිදි වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය සමඟ මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු පහළොවක දියණිය බවද පොලීසිය පවසයි.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මව සහ දියණිය එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්වර්ණාභරණ අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් මෙවැනි සොරකම් රැසක් සිදුකර ඇති බවයි.


එමෙන්ම, හොරණ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන්ද මෙම කාන්තාව මීට පෙර අත්අඩංගුවට පත්ව ඇප මත මුදාහැර සිටින අයෙකු බව අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී, මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකින්ද සමාන ආකාරයේ සොරකමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

Post Top Ad

Pages