බොරලැස්ගමුව ප්‍රදේශයේදී මුදල් ඉල්ලා නිවස තුළ නිරන්තරයෙන් ආරවුල් ඇතිවීමේ සිද්ධියක් දුරදිග යාමෙන් වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැකපිට 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරලැස්ගමුව ලියනගේ පාරේ පදිංචි 26 හැවිරිදි මොහොමඩ් ෆශිල් නැමති පරිගණක ක්‍රියාකරුවෙකි.
පොලිස් විමර්ශන අනුව, මියගිය තරුණයා දින කිහිපයක සිට නිවසේ සිටි මව, පියා සහ මිත්තනියගෙන් මුදල් ඉල්ලා නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන තිබේ.
පසුගිය 06 වැනිදා රාත්‍රියේ එම ආරවුල තවදුරටත් උග්‍ර වීමත් සමඟ කෝපයට පත් වූ බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලිසියට පැමිණ භාරවී ඇති අතර, තමන්ට ඇති වූ දැඩි කෝපය පාලනය කරගත නොහැකි වූ බැවින් මෙම ක්‍රියාව සිදුකළ බවට ප්‍රකාශ කළේ යැයි පොලිසිය සඳහන් කළේය.