දෙහිවල සේනානායක මාවතේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන කඩා වැදුණු කාන්තාවන් හය දෙනෙකු ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවකයින්ට පහරදී රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, නාදුනන පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් මුලින්ම එම වෙළඳසැලට පැමිණ ඇති බවයි.
එහිදී ඔවුන් රුපියල් 45,000ක මුදලක් අයකැමි වෙත ගෙවා ඇති අතර, රූපවාහිනී යන්ත්‍රය පරීක්ෂා කර ලබාදීම ප්‍රමාද වන බව පවසමින් සේවකයින් සමඟ බහින්බස්වීමක් ඇතිකරගෙන, ගෙවූ මුදල ආපසු ලබාගෙන පිටව ගොස් තිබෙනවා.
අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ යළිත් ව්‍යාපාරික ස්ථානයට පැමිණ, සේවකයින්ට පහරදී බෑගයක තිබූ රුපියල් දහතුන් ලක්ෂ නව දහසක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.