Breaking

Post Top Ad

Friday, May 8, 2026

PayPal සේවාව ළඟදීම ශ්‍රී ලංකාවට ලැබෙයි

 

PayPal සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා මේ වනවිට සාර්ථකව ඉදිරියට ගෙන යමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


මෙම සේවාව මෙරට තුළ ස්ථාපිත කිරීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ Freelancers සඳහා නව ආර්ථික අවස්ථා රැසක් උදාකර දෙන වැදගත් පියවරක් ලෙස අමාත්‍යාංශය සඳහන් කරයි.


විශේෂයෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා සේවා සපයන ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට තම ආදායම් සෘජුව, ආරක්ෂිතව සහ පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධා ඉවත් වීමේ හැකියාවක් මෙමඟින් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා අපනයන ක්ෂේත්‍රය හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම වැඩි කිරීමටද PayPal සේවාව සෘජු දායකත්වයක් ලබාදෙනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.


එමෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන සහ සේවාවන් ලොව පුරා පාරිභෝගිකයන් වෙත පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව සැලසීමද මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.


මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහාද මෙම පියවර වැදගත් වනු ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

Post Top Ad

Pages