බටපොළ ප්‍රදේශයේ පුද්ගලයකුට පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළේ යැයි චෝදනා ලැබූ විත්තිකරුවන් පස්දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කිරීමට බලපිටිය මහාධිකරණය අද (22) තීරණය කළේය.
බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවේ බටපොළ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති, සන්දාමරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග යන පස්දෙනාටය.
මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ බටපොළ බටදූව ප්‍රදේශයේ පදිංචි ගුස්තිඥ්ඥාවඩු මංජුල නමැති පුද්ගලයෙකි.
2007 ජූලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පවුල් ආරවුලක් මත විත්තිකරුවන් එක්ව පොලු මුගුරුවලින් පහරදී මංජුල නමැත්තා ඝාතනය කළ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය.
නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතීඥ හිරුණි ගුණතිලක මහත්මිය පෙනී සිටි අතර, මීටියාගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල් අරුණජිත් මහතා (97474) සහය ලබාදී තිබුණි.