අම්බලන්තොට මාමඩල බොකුටයාය ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඔහුගේ ගෙල කපා රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබූ සිද්ධියට ආධාර හා අනුබල ලබාදුන් බවට සැක කෙරෙන “කරුණෙ ලොක්කා” නමැති සැකකරු අම්බලන්තොට පොලිසිය විසින් (21) රාත්‍රී මාමඩල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස්ව සිටි අයෙකු බවයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වෙන තෙක් ජුනි 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
“කරුණෙ ලොක්කා” නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට පත් “කරුණෙ ලොක්කා” අපරාධ නඩු කිහිපයකට අදාළ වරෙන්තුකරුවෙකු බවයි.