Breaking

Post Top Ad

Saturday, May 23, 2026

සීදුවේ කාන්තාව මරා මල්ලක සැගවුවේ නිවසේ නඩත්තු කටයුතු සඳහා පැමිණ අයෙක්ලු

 සීදුව පොලිස් බලප්‍රදේශයට අයත් මුක්කලංගමුව, පියසමර ප්‍රදේශයේ පිහිටි නිවසකින් දැඩි දුර්ගන්ධයක් හමන බවට පෙරේදා (20) සන්ධ්‍යාවේ සීදුව පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නිවසේ නිදන කාමරයක තිබූ ගමන් මල්ලක් තුළ සඟවා තිබූ වයෝවෘද්ධ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ තනිව ජීවත්ව සිටි 79 හැවිරිදි ගර්ලි චන්ද්‍රනි නැමැති කාන්තාවකි.


සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම අපරාධය සැලසුම්සහගත අයුරින් සිදුකර ඇති බවයි. නිවසේ සවිකර තිබූ CCTV ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා ඉවත් කර තිබූ අතර, දුරකථන රැහැන් ද කපා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.


සිද්ධිය වූ ස්ථානය වෙත මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීවරයා පැමිණ මූලික පරීක්ෂණ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.


මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනවලින් අනතුරුව, නිවසේ නඩත්තු කටයුතු සඳහා පැමිණ සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සීදුව පොලිසියට හැකි වී ඇත.


පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි. මියගිය කාන්තාව සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, පසුව සාක්ෂි වසන් කිරීම සඳහා මළසිරුර ගමන් මල්ලක දමා සඟවා තිබූ බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Top Ad

Pages