2012 වසරේ “මිස් පූනේ” කිරුළ දිනාගත්, රංගන ශිල්පිණියක සහ නිරූපිකාවක වූ 33 හැවිරිදි ත්විෂා ශර්මාගේ අභිරහස් මරණය මේ වනවිට ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ. විවාහ වී මාස පහක් පමණක් ගතව තිබියදී සිදුවූ ඇයගේ මරණය, දෑවැද්ද සම්බන්ධ ගෘහස්ථ හිංසනයක ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳව දැඩි සැකයන් මතුකර ඇත.
පසුගිය මැයි 12 වැනිදා රාත්‍රීයේ, භෝපාල්හි කටාරා හිල්ස් ප්‍රදේශයේ පිහිටි සැමියාගේ නිවසේදී ත්විෂා මියගොස් සිටියදී සොයාගෙන තිබුණි. ඇයගේ පියා නව්නිධි ශර්මා පවසන්නේ, මරණයට පෙර අවසන් වරට ඇය මව සමඟ WhatsApp ඔස්සේ කතා කරමින් සිටියදී හදිසියේ දුරකථන සම්බන්ධතාවය විසන්ධි වූ බවයි. මිනිත්තු කිහිපයකට පසු නැන්දම්මා දුරකථනයට පිළිතුරු දෙමින් ත්විෂා මියගොස් ඇති බව දැනුම් දී ඇත.
පසුව නිවසේ ටෙරසයේ තිබූ ජිම්නාස්ටික් වළල්ලක කඹයක එල්ලී සිටියදී ඇය සොයාගෙන ඇති අතර, මධ්‍යම රාත්‍රියෙන් පසු ඇය මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කෙරිණි. භෝපාල් AIIMS රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මෙය ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බව සඳහන් වුවද, ඇයගේ සිරුරේ තිබූ තුවාල සහ සීරීම් සම්බන්ධයෙන් දැඩි සැකයන් මතුවී තිබේ. ගෙල, අත්, මැණික් කටුව, ඇඟිලි සහ හිස්කබල ආශ්‍රිතව පහරදීම්වලට සමාන සලකුණු දක්නට ලැබුණු බව වාර්තා වේ.
එසේම, මරණයට හේතු වූ බව කියන කඹය හෝ පටිය මුල් අවස්ථාවේදී පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොකිරීමද පොලිස් විමර්ශන පිළිබඳ විවේචන ඇතිකර තිබේ.
ත්විෂාගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරන්නේ ඇයගේ සැමියා සමර්ත් සිං සහ ඔහුගේ මව වන විශ්‍රාමික විනිසුරුවරිය ගිරිබාලා සිං විසින් දෑවැද්ද ඉල්ලා ඇයට මානසික හා ශාරීරික වධහිංසා සිදුකළ බවයි. තවද, ඇය ගැබ්ගත් පසු දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් චෝදනා කරමින් බලහත්කාරයෙන් ගබ්සාවක් සිදුකර ඇති බවටද ඔවුන් චෝදනා කරති.
“මගේ ජීවිතය අපායක් වෙලා” යනුවෙන් ත්විෂා විසින් යවා ඇති බව කියන WhatsApp පණිවිඩ කිහිපයක්ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. යුක්තිය ඉටුවන තුරු ඇයගේ දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කර ඇති පවුලේ ඥාතීන්, CBI පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර ඇයගේ සිරුර තවදුරටත් මෘත ශරීරාගාරයේ තබා ඇත.
කෙසේ වෙතත්, මෙම සියලු චෝදනා ගිරිබාලා සිං විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඇය පවසන්නේ ත්විෂා මානසික සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන් schizophrenia තත්ත්වයෙන් පෙළුණු බවත්, ගබ්සාව ඇයගේම කැමැත්ත මත සිදුකළ බවත්ය. තවද තමන් ඔවුන්ට මූල්‍යමය වශයෙන්ද සහාය ලබාදුන් බව ඇය සඳහන් කරයි. එහෙත් ත්විෂාගේ පෞද්ගලික ජීවිතය සහ අතීත සබඳතා පිළිබඳව ගිරිබාලා සිං සිදුකළ බව කියන ආන්දෝලනාත්මක හඬපටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) පත්කර ඇති අතර, දෑවැද්ද සම්බන්ධ මරණයක් සහ හිරිහැර කිරීමේ චෝදනා යටතේ සමර්ත් සිං සහ ගිරිබාලා සිංට එරෙහිව FIR ගොනු කර ඇත. මේ වනවිට සමර්ත් සිං ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රුපියල් 10,000ක ත්‍යාග මුදලක්ද ප්‍රකාශයට පත්කර තිබේ. ගිරිබාලා සිං අපේක්ෂිත ඇප ලබාගෙන ඇති නමුත්, සමර්ත්ගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පොලිස් පරීක්ෂණවල ප්‍රමාදය, CCTV දර්ශනවල පරස්පරතා සහ සාක්ෂි අතුරුදන්වීම සම්බන්ධ චෝදනා හේතුවෙන්, මෙම නඩුව ඉන්දීය නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද දැඩි සමාජ විවේචනයකට ලක්ව තිබේ.