Breaking

Post Top Ad

Sunday, May 24, 2026

රුමේනියා රැකියා ජාවාරම්කාරී සොයා දෙන්නැයි පොලිසිය මහජන සහය පතයි

 

රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින්ගෙන් විශාල මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අදාළව පලාගොස් සිටින සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, Rainbow Garments Technologies (Pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවයි. රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ගේ විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී පරිහරණය කිරීම යන චෝදනා යටතේ එම ආයතනයට එරෙහිව පැමිණිලි රැසක් ලැබී තිබේ.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පුද්ගලයින් 750කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි 92කට අධික මුදලක් මෙම ආයතනය විසින් වංචා කර ඇති බවයි.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සමාගමේ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.


වරෙන්තු නිකුත් කර ඇති සැකකාරිය වන්නේ හෝමාගම, මාගම්මන, සමගි මාවත, අංක 118/3 හි පදිංචිව සිටි 54 හැවිරිදි ෂර්ලි ජයවර්ධන අමදෝරු නැමැත්තියයි. ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 716032531V ලෙස සඳහන් වේ.


මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවට සැලකෙන මෙම සැකකාරිය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකු වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.


ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයාගේ 071-8594910 දුරකථන අංකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2444172 දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages