ලෝකයේ විවිධ තැන්වලින් අපට අසා දැකගත හැකි අමුතු, හදවතට තැවෙන කතා අතරින් මේකත් එකක්.
“ආලෝක” කියන්නේ කවුද? ඇත්තටම මේ විශේෂ කතාව ඔබටත් දැනගන්න හිතුණා ඇති.
ඉන්දියාවේ වීදියක අසරණව ජීවත් වූ සුනඛයෙක් අද බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ලෝක සාමය වෙනුවෙන් කිලෝමීටර් දහස් ගණනක් පාගමනක යෙදෙමින් ලෝකය පුරා අවධානය දිනාගත්තා. විදෙස් මාධ්‍ය පවා මේ ගැන විශේෂයෙන් වාර්තා කරනවා.
ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700කට අධික දුරක් ආවරණය කරන “සාමය උදෙසා පාගමන”ට එක්ව සිටින මේ අපූරු සුනඛයා “ආලෝක” ලෙස හඳුන්වයි.
මෙම පාගමන සංවිධානය කර ඇත්තේ හ්ඔන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසිනි. එහි ප්‍රධාන අරමුණ වන්නේ ඇමරිකාව පමණක් නොව මුළු ලෝකය පුරාම සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ අවබෝධය පැතිරවීමයි.
පාගමන ආරම්භ වුණේ ඔක්තෝබර් 10 වනදා ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන්. වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කරයි.
ස්වාමීන්වහන්සේලාගේ රැකවරණය යටතේ, මඟ අතර හමුවන ජනතාවගේ ආදරයත් සමඟ ගමන් කරන ආලෝක වයස අවුරුදු 4ක් පමණ වන දුඹුරු-සුදු පැහැති ඉන්දියන් Pariah වර්ගයේ සුනඛයෙකි. ඔහුගේ නළලේ හදවතක් වගේ හැඩයක් ඇති සලකුණක් තිබීමත් ඔහුට වෙනස්ම හැඳින්වීමක් ලබාදෙනවා.
මෙය ඔහුගේ පළමු පාගමන නොවෙයි. මීට පෙර ඉන්දියාවේදී ද ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ දින 100කට අධික කාලයක් පාගමනක සහභාගී වී තිබෙනවා.
“Aloka – The Peace Dog” ලෙස ජනප්‍රිය වූ ඔහුට සමාජ මාධ්‍යවලද විශාල ආධාරක පිරිසක් සිටී. ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට 150,000කට අධික අනුගාමිකයින් සිටින අතර, ෆේස්බුක් ගිණුමට 435,000කට වැඩි පිරිසක් එක්ව ඇත.
දැනට මෙම පාගමන ආරම්භ වී දින 70කට අධික කාලයක් ගතවී ඇති අතර, ආලෝක සහ භික්ෂූන් වහන්සේලා දකුණු කැරොලිනාවේ මැකෝමික් නගරයේ රැඳී සිටිති.
ගමන අතරතුර ආලෝකගේ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් පශු වෛද්‍ය පරීක්ෂණ සිදුකරන අතර, ඔහුට ආදරය කරන ජනතාවගෙන් තෑගි බෝගත් නොඅඩුව ලැබෙයි.
අසරණ වීදියේ සුනඛයෙකු ලෙස ආරම්භ වූ ඔහුගේ ජීවිතය අද ලෝකයට සාමයේ පණිවිඩයක් ගෙන යන අපූරු ගමනක් බවට පත්ව තිබේ.