Breaking

Post Top Ad

Friday, May 22, 2026

සොල්දරයෙන් වැටුණු පියාගේ සිරුරට යටවී දරුවකු ජීවිතක්ෂයට

 

ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයෙන් අතිශය සංවේදී හා ශෝචනීය අනතුරක් වාර්තා වී තිබේ. නිවසක සොල්දරයකින් පහළට ඇද වැටුණු පියෙකුගේ සිරුරට යටවීමෙන් තුන් හැවිරිදි කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගොස් ඇත්තේ මොහොමඩ් අයාද් නම් කුඩා පිරිමි දරුවෙකි.

අනතුරින් තුවාල ලැබූ දරුවාගේ පියා වන මොහොමඩ් ස්ටිකා සාජින් අලි ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


පොලිස් විමර්ශනවලට අනුව, පියා සිය මහගෙදර අසල වෙනම පදිංචිව සිටින අතර, පෙරදින පෙරවරුවේ යතුරුපැදිය සේදීම සඳහා අවශ්‍ය ජල බටයක් රැගෙන ඒමට මහගෙදරට ගොස් තිබේ. එම ජල බටය නිවසේ සොල්දරය මත තබා තිබූ බැවින්, ඉනිමඟක් ආධාරයෙන් ඉහළට නැග එය ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සොල්දරයේ තිබූ ලෑල්ලක් හදිසියේම කඩා වැටී ඇත.

ඒ සමඟම පියාද පහළට ඇද වැටී ඇති අතර, එම මොහොතේ ඔහුට පහළින් සිටි කුඩා දරුවාගේ සිරුර මතට පියාගේ සිරුර පතිත වී තිබේ.


සිද්ධිය වන අවස්ථාවේදී දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, පියා නිවස තුළට යන අයුරු දැක ඔහු පසුපසින් පැමිණ තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.


බරපතළ ලෙස තුවාල ලැබූ දරුවාගේ නාසයෙන් හා මුඛයෙන් රුධිරය වහනය වී තිබූ අතර, ප්‍රදේශවාසීන් වහාම පියා සහ දරුවා ත්‍රිරෝද රථයකින් ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහෙත් රෝහලට ඇතුළත් කරන විටත් කුඩා දරුවා මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතාගේ මෙහෙයවීමෙන් සහ ගම්පොළ පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පොළ ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.

Post Top Ad

Pages