Breaking

Post Top Ad

Thursday, May 7, 2026

නංගිට හිරිහැර කළ නිසා අක්කා පුද්ගලයකුට ඇසිඩ් ගසයි

 තම බාල සහෝදරියට නිතර හිරිහැර කළ බව කියන පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් ඊයේ (05) හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ, ඉළිඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.


පොලිස් විමර්ශන අනුව, ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සැකකාර කාන්තාවගේ බාල සහෝදරිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර, ඔහු නිතර නිවසට පැමිණ ඇය සමඟ ආරවුල් ඇති කරගෙන තිබෙනවා.


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව කියන එම පුද්ගලයා, පසුගිය 29 වැනිදාද නිවසට පැමිණ බාල සහෝදරියට බරපතළ ලෙස හිරිහැර කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදී කෝපයට පත් වැඩිමහල් සහෝදරිය ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.


ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ වම් ඇසට බරපතළ හානි සිදුව ඇති අතර, ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හොරණ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඇය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Post Top Ad

Pages