ඊයේ (2025.05.04) පෙරවරුවේ ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ඇහැලියගොඩ පොලිසිය, සිය බලප්‍රදේශයට අයත් පැවිල්ල ගම්මානයේ ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. මුලදී හඳුනා නොගත් සිරුරක් ලෙස වාර්තා වූවත්, පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම මරණයට පත් වූයේ කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 41ක් වූ කාන්තාවක් බවයි.
මෙම මරණය කෲර මනුෂ්‍ය ඝාතනයක් බවට මේ වන විට තහවුරු වී ඇති අතර, පොලිසිය විසින් සිදුකළ මූලික නිරීක්ෂණවලදී ඇයගේ සිරුරේ ස්ථාන කිහිපයක බරපතළ කැපුම් තුවාල පවතින බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් හමු වී නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත.
සොයාගත් මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධියට මුල් වූ හේතු හෙළි කර ගැනීමට සහ සැකකරුවන් හඳුනා ගැනීමට ඇහැලියගොඩ පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි.