Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

පවුල් ආරවුලක් නිසා මුහුදට දිවි පිදු කළුතර ටීචර්

 

පවුල් ආරවුලක් පසුබැසියෙන් නිවසින් පිටව ගිය බවට සැක කෙරෙන පාසල් ගුරුවරියකගේ මළ සිරුර කළුතර දකුණේ කැලිඩෝ වෙරළ තීරයෙන් සොයාගෙන තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධියේ බිලිවූයේ බණ්ඩාරගම වීදියගොඩ, කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි එක්දරු මවක් වන නදීෂානි තරංගිකා අමරනායකයි.


ඇය මොරගහහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ලෙස සේවය කර ඇති අතර, ඇගේ සැමියා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයා ලෙස කටයුතු කරයි.


පොලිස් විමර්ශන අනුව, අප්‍රේල් 29 දින ඇය යෙහෙළියකගේ විවාහ උත්සවයකට සහභාගී වූ අතර, සැමියාගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඔහුට එයට එක්වීමට නොහැකි වීමෙන් දෙදෙනා අතර අසමතුලිතතාවයක් ඇතිව තිබේ.


ඊළඟ දිනය වන අප්‍රේල් 30 දින, සැමියා කොළඹ පැවති පාසල් උත්සවයකට සහභාගී වීමට ගොස් ඇති අතර, එයට නොයන ලෙස බිරිඳ විසින් කිහිප වතාවක්ම දැනුම් දී තිබූ බව සඳහන් වේ. එදින ඇය සැමියාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දීමෙන් අනතුරුව නිවසින් පිටව ගොස් ඇති අතර, ඇගේ පුතු සහ මව විසින් නවතා ගැනීමට උත්සාහ කළද, ඇය ත්‍රිරෝද රථයකින් පිටව ගොස් ඇති බව අනාවරණය වී ඇත.


පසුව බිරිඳගෙන් ලැබුණු දිගින් දිගටම ඇමතුම් හේතුවෙන් නිවසට පැමිණි සැමියා, ඇය නිවසින් පිටව ගොස් ඇති බව දැනගත් පසු එදින මධ්‍යම රාත්‍රියේ මොරගහහේන පොලිසියට පැමිණිලි කර තිබේ.


මැයි 01 දින පස්වරුවේ ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව, කළුතර දකුණ පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැලිඩෝ වෙරළ තීරයෙන් ඇගේ මළ සිරුර සොයාගෙන ඇත.


මැයි 02 දින, සැමියා සහ මව විසින් කළුතර නාගොඩ රෝහලේදී සිරුර හඳුනාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු විසින් සිදු කර ඇත. හදිසි මරණ පරීක්ෂකවරිය විසින් මෙය විමර්ශනයට යටත් මරණයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර, නිශ්චිත මරණ හේතුව තහවුරු කිරීම සඳහා රුධිර සාම්පල් රජයේ රසායනාගාරයට යොමු කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලිසිය විසින් ඉදිරියට ගෙන යයි.


අදාළ ගුරුවරියගේ අවසන් කටයුතු මැයි 03 දින වීදියගොඩ, කනත්තගොඩ පොදු සුසාන භූමියේදී සිදු කර ඇත.

Post Top Ad

Pages