කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ සුළු බහින්බස් වීමක් දුරදිග ගොස්, සිය දියණියට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ බවට සැකපිට පියෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි එක්දරු මවක් වන තිළිණි මධුෂාණීය.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශන අනුව හෙළි වී ඇත්තේ, මියගිය කාන්තාව සහ සැකකාර පියා මීට පෙර කළුතර උතුර ප්‍රදේශයේ යාබද නිවාස දෙකක ජීවත් වූ බවයි. කෙසේ වෙතත්, දෙදෙනා අතර දිගු කාලයක් පැවති ආරවුල් හේතුවෙන්, ඇය තම සැමියා සහ කුඩා දියණිය සමඟ වස්කඩුව ප්‍රදේශයේ කුලී නිවසකට පදිංචියට ගොස් ඇත.
ඇය කලින් පදිංචිව සිටි ඉඩමේ පිහිටි කොස් ගසකින් පියා විසින් කොස් ගෙඩියක් කඩා ඇති අතර, එය පිළිබඳව අසල්වැසියෙකු දුරකථනයක් මඟින් ඇයට දැනුම් දී ඇත.
එම දැනුම්දීමෙන් පසු ඇය වහාම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පියා සහ දියණිය අතර දැඩි වාදයක් හටගෙන ඇත. එහිදී කෝපයට පත් සැකකරු නිවසේ තිබූ යකඩ උලක් රැගෙන දියණියගේ හිසට පහර දී ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධියෙන් අනතුරුව, භාවිත කළ යකඩ උලද සමඟ සැකකරු කළුතර උතුර පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර, වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.