Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

මාළු අල්ලන්න ගියා අයියයි මල්ලියි දියේ ගිලී මරුට

 

දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලකට අයත් ඉඩමක වැලි කැණීමෙන් පසු අතහැර දමා තිබූ ජලයෙන් පිරුණු වළක මසුන් අල්ලා ගැනීමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව Sri Lanka Police දන්කොටුව පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ක්‍රාස් ග්‍රේෂන් ප්‍රනාන්දු (44) සහ ඔහුගේ සහෝදරයා වන අවිවාහක ඔලිවර් රවින්ද්‍ර කුමාර් ප්‍රනාන්දු (37) යන අය බව පොලිසිය සඳහන් කළේය. බ්‍රැන්ක්‍රාස් ග්‍රේෂන් ප්‍රනාන්දු තිදරු පියෙකු බවද අනාවරණය වී ඇත.


පොලිස් විමර්ශන අනුව, මියගිය දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු විසින් ජලය පිරුණු වළේ මසුන් අල්ලා ගැනීම සඳහා දැලක් එලා තිබූ අතර, එය ගොඩට ගැනීම සඳහා පසුව තවත් මිතුරන් සමඟ එක්ව පස් දෙනෙකු වළට බැස ඇත. එහිදී ඔවුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර, සෙසු පිරිස දිවි බේරාගෙන ගොඩට පැමිණ තිබේ.


අතුරුදන් වූ දෙදෙනා සොයා ගැනීමට සමඟ සිටි පිරිස උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. අනතුරුව Sri Lanka Navy නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා සිදුකළ මෙහෙයුමකදී දෙදෙනාගේ සිරුරු ගොඩට ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් දන්කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Top Ad

Pages