Breaking

Post Top Ad

Wednesday, May 6, 2026

තමන්ගේම දියණිය අපයෝජනයට ලක් කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

තම දියණියට සිදු වූ අපයෝජනයක් වසන් කරමින් ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ මවක් ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එම මවගේ අනියම් සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පදවිය පොලීසිය සඳහන් කරයි.


පදවිය පොලිස් බලප්‍රදේශයේ පදිංචි දැරියක් සිය මවගේ අනියම් සැමියා විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව, පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබේ.


ඒ අනුව, වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී සිදු වූ අපයෝජනය තහවුරු වී ඇති බව වාර්තා වේ.


පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධයට සම්බන්ධ සැකකරු තිදරු පියෙකු වන අතර, ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන් සහ ගම්වාසීන් ද පොලීසියට තොරතුරු ලබාදී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.


තම දියණියට සිදු වූ අපරාධය වසන් කරමින් ඊට සහය ලබාදුන් බවට චෝදනා මත එම මව පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (05) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


වින්දිත දැරිය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages