Breaking

Post Top Ad

Sunday, May 10, 2026

රතුගල ආදි වාසීන්ට නව නායකයෙක් පත්වෙයි

 

රතුගල ආදිවාසී නායකත්වයේ නව පත්වීමක් ලෙස, රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ පුත්‍රයා වන දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ රතුගල මීළඟ ආදිවාසී නායකයා ලෙස පත් කරනු ලැබීය.


රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු අද සවස ඔහුගේ නිවස පිහිටි භූමියේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාවෙන් අනතුරුව නව නායකයා තෝරා පත් කිරීමද සිදු විය.


මෙම අවමංගල්‍ය කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලැබී තිබූ අතර, රජය නියෝජනය කරමින් වෙළඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර මහතා සහ ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


ආදිවාසී ප්‍රජාව නියෝජනය කරමින් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ද එක්ව සිටි අතර, හිටපු අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාද මෙම අවස්ථාවට එක්විය.


මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස විසින් ගුණකථන පවත්වනු ලැබීය.


ඉන් අනතුරුව ආදිවාසී සම්ප්‍රදායට අනුව දුනු සහ ඊතල රැගෙන පෙරමුණ ගත් ආදිවාසී පිරිස ඉදිරියෙන් ගමන් කළ අතර, දේහය ආදිවාසීන් විසින් ඔසවාගෙන පවුලේ සුසාන භූමිය වෙත රැගෙන ගියහ.


දේහය භූමදානය කිරීමෙන් අනතුරුව නව ආදිවාසී නායකයා තෝරා පත් කිරීම සිදු කෙරිණි.


මියගිය සුදා වන්නිල ඇත්තන් භාවිත කළ පරම්පරා ගණනාවක් පැරණි කෙටේරිය සහ දුන්න, දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් නව රතුගල ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ වෙත භාරදීමත් සමඟ නව නායකත්ව පත්වීම නිල වශයෙන් සිදු කෙරිණි.

Post Top Ad

Pages