දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් සිසුන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ප්‍රධාන පාසල් හතරේ නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශවල නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින තුළ ද වසා තැබීමට නියමිතය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සිසුන් අතර පැතිර යන මෙම රෝගී තත්ත්වය ‘මෙනින්ජයිටීස්’ හෙවත් මොළේ උණ තත්ත්වයක් විය හැකි බවට සැක පවතින බවයි.
මීට පෙරත් පසුගිය 07 සහ 08 යන දිනවලදී ද මෙම පාසල් හතර තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, රෝගය තවදුරටත් පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගෙන නිවාඩු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා ප්‍රකාශ කර ඇත.
මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.
එමෙන්ම දරුවන්ට තද උණ, දැඩි හිසරදය, වමනය වැනි ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාදයකින් තොරව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස දෙමාපියන්ට දැනුම් දී ඇත.