මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ සැකසහිත මරණය පිළිබඳව පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන් වේ.
පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මළ සිරුර, කුලියාපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල පිහිටි බුලත් කොටුවකදී ඊයේ (30) දහවල් සොයාගනු ලැබීය. පොලීසිය අනුව, ඔහුගේ දෙපා ප්‍රදේශයේ ගැඹුරු කැපුම් තුවාල පෙනී ගොස් තිබූ අතර, සිරුර අසල ලේ තැවරුණු පිහියක් ද හමු වී ඇත.
ඩොලර් මිලියන 2.5ක මුදලක් අක්‍රමිකව ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී, රංග නිශාන්ත මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබුණි. එම කාලය තුළද ඔහු තම ගෙවත්තේ පවත්වාගෙන ගිය බුලත් වගා කටයුතු පිළිබඳව සක්‍රීයව සොයා බැලූ බව වාර්තා වේ.
මරණයට පෙර දින උදෑසන ඔහු නිවසේ තිබූ පිහියක් රැගෙන බුලත් කොටුව වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. එහි සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකු විසින් ඔහු තුවාල සහිතව වැටී සිටින අයුරු දැක, එය පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව එම ස්ථානයට පැමිණි ඔහුගේ දියණිය විසින් ඔහු මියගොස් ඇති බව හඳුනාගෙන ඇත.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලිස් කණ්ඩායම් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකය විසින් ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත. නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය රෝහලට යොමු කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධව විද්‍යුත් තැපැල් හුවමාරු හා දත්ත මකා දැමීම පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා ඔහුගේ නිවසේ තිබූ ජංගම දුරකථන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, මෙම මරණය දැනට පවතින මූල්‍ය අක්‍රමිකතා පරීක්ෂණවලට බලපෑමක් විය හැකි බවයි. එමෙන්ම, මෙම සිද්ධියට ඉහළ මට්ටමේ තොරතුරු වසන් කිරීමක් සම්බන්ධද යන්න පිළිබඳවද සමාජයේ සැකයක් මතුව ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් වයඹ පළාත් පොලිස් උසස් නිලධාරීන්ගේ උපදෙස් යටතේ කුලියාපිටිය පොලීසිය විසින් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි.