Breaking

Post Top Ad

Thursday, May 7, 2026

ලෝකෙම ආදරය කරන “ආලෝකා” ගැන දුක හිතෙන කතාවක්

 

සැතපුම් දහස් ගණනක් පුරා පැවැත්වෙන සාම පාගමනේ භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කරන ලොව පුරා ආදරයට පාත්‍ර වූ “ආලෝක” නම් සුනඛයාගේ පාදයේ සිදුකළ සැත්කම සාර්ථකව අවසන් වී තිබේ.


දිගු දින ගණනාවක් සාම පාගමනේ නිරත වූ ආලෝකගේ පාදයේ සැත්කම පසුගියදා සිදුකර ඇති අතර, එය සඳහා මුලින් පැය දෙකක් හෝ තුනක් පමණ ගතවනු ඇතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කර තිබුණි. කෙසේ වෙතත්, දක්ෂ වෛද්‍ය කණ්ඩායමේ කැපවීම හේතුවෙන් සැත්කම පැයකට ආසන්න කෙටි කාලයකින් සාර්ථකව නිම කිරීමට හැකි වී ඇත.


සැත්කමෙන් අනතුරුව ආලෝක දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේක ගනිමින් සුවය ලබන බව වාර්තා වේ. සැත්කමට පෙර, පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහු ඉතා ප්‍රවේශමෙන් සූදානම් කර ඇති අතර, කිසිදු වේදනාවක් නොදැනෙන පරිදි ගැඹුරු නිර්වින්දන තත්ත්වයකට පත් කර තිබුණි.


ආලෝකගේ පාදය සුවපත් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරන අතරතුර ඔහු ඉතා සන්සුන්ව සිටීමද සියලු දෙනාටම සහනයක් වී තිබේ.


Charleston Veterinary Referral Center (CVRC) හි වෛද්‍ය කණ්ඩායම දැක්වූ කරුණාව සහ කැපවීම පිළිබඳව භික්ෂූන් වහන්සේලා විශේෂ ස්තුතිය පළ කර ඇති අතර, ඔවුන් සියලු වෛද්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම මෙම සිදුවීමේ විශේෂත්වයක් ලෙස සැලකේ.


මෙම වෛද්‍ය කණ්ඩායමට ශල්‍ය වෛද්‍ය පැට්‍රීෂියා සූරා, හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය අධ්‍යක්ෂ සොෆී ජෙස්ටි, නිර්වින්දන වෛද්‍ය එමෙට් ස්වන්ටන් සහ Batesburg-Leesville සත්ව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඒමි වැග්නර් ඇතුළත් වේ. තවද, ප්‍රවාහන සම්බන්ධීකාරක රොන්ඩා හොලිමන්, භාරකරු ලුවී හායි තායි, ශල්‍ය හෙදිය ටිෆනි සහ සහායිකා ලෝරන් ද මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි.


දැනට ආලෝක සුවය ලබමින් සිටින අතර, හැකි ඉක්මනින් ඔහු නැවතත් භික්ෂූන් වහන්සේලා සමඟ එක් කිරීමට නියමිතය.


ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝක, මීට පෙර භික්ෂූන් වහන්සේලා සිදුකළ පාගමනකදී හමුවී ඔවුන් සමඟ එක්ව සිටීමට පටන් ගෙන තිබුණි.


හොන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානය සංවිධාන කරන මෙම “සාමය උදෙසා පාගමන” ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700කට අධික දුරක් ආවරණය කරමින් පැවැත්වෙන අතර, එහි අරමුණ වන්නේ ලොව පුරා සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ පණිවිඩය ප්‍රචාරය කිරීමයි.


පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පාගමන වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම ගමන පුරාම ආලෝක ද භික්ෂූන් වහන්සේලා සමඟ අඛණ්ඩව පාගමනේ නිරත වී තිබේ.


“Aloka – The Peace Dog” ලෙස ජනප්‍රිය වූ ඔහුට මේ වනවිට ඉන්ස්ටග්‍රෑම් හි ලක්ෂ 2.4කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින අතර, ෆේස්බුක් හිද ලක්ෂ 6කට ආසන්න පිරිසක් ඔහු අනුගමනය කරති.

Post Top Ad

Pages