තිරප්පනේ ප්‍රදේශයේ 65 හැවිරිදි මවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් 32 හැවිරිදි බාල දියණිය සහ ඇගේ 25 හැවිරිදි අනියම් සැමියා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් පෙරේදා (16) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධිය අසල පදිංචිව සිටි දෙදරු මවක් වන පී. පද්මලතා මහත්මියයි. ඇය වසර 24කට ආසන්න කාලයක් විදේශගතව ගෘහ සේවිකාවක ලෙස සේවය කර ඇති අතර, ඇගේ මැදිහත්වීමෙන් බාල දියණියද වසර 14ක පමණ කාලයක් විදේශ රැකියාවක නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, දියණියගේ පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු ඇය කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි, යුද හමුදාවෙන් පලාගිය බව කියන පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
මාස තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි දියණිය පයින්ඩිකුලම ප්‍රදේශයේ ඇගේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇති අතර, පසුව මවගේ ඉල්ලීම මත අප්‍රේල් 10 වැනිදා පමණ ඇය සහ අනියම් සැමියා තිරප්පනේ පිහිටි මවගේ නිවසට ගොස් තිබේ. එම කාලය තුළ නිවසේ තාප්ප ඉදිකිරීමේ කටයුතු සඳහාද සැකකරු සහභාගී වී ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත්, මව සහ දියණිය අතර මුදල් සම්බන්ධයෙන් නිරන්තර ආරවුල් පැවති බව පොලිසිය පවසයි. විදෙස් රැකියාවෙන් උපයාගත් රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සහ රන් භාණ්ඩ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට සැක පළ කර ඇත.
පසුගිය මැයි 11 වැනිදා මව විසින් දියණියගේ අනියම් සැමියාට නිවසින් පිටව යන ලෙස දැනුම් දී තිබූ අතර, ඔහු පයින්ඩිකුලම ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත. ඊළඟ දිනයේ දියණියද ගමන් බලපත්‍ර කටයුතු සඳහා යන බව පවසා එම නිවසට ගොස් තිබේ.
එදින රාත්‍රියේ දියණිය කුලී ත්‍රිරෝද රථයකින් නැවත මවගේ නිවසට පැමිණ ඇති අතර, අනියම් සැමියා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිවසට ඇතුළු වී ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු මෙම යුවළ දඹුල්ල ප්‍රදේශයට ගොස් හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, පසුදින දියණිය විසින් මව දුරකථනයට ප්‍රතිචාර නොදක්වන බව පවසමින් නිවසට පැමිණි අවස්ථාවේ ඇය මියගොස් සිටිනු දුටු බවට තිරප්පනේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී. ජයතිලක මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී ඥාතීන්ගේ ප්‍රකාශ අතර පරස්පරතා සහ සීසීටීවී දර්ශන මත මෙම මරණය ඝාතනයක් බවට සැක මතුවී තිබේ.
අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
මේ අතර, පසුගිය 15 වැනිදා අවසන් කටයුතු සඳහා දේහය නිවසින් රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී දියණිය, ඇගේ අනියම් සැමියා සහ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.