ඌව කුඩාඔය පොලිස් බලප්‍රදේශයට අයත් සිරිපුරගම ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙකු සතියකට ආසන්න කාලයකට පසු පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සිරිපුරගම ප්‍රදේශයේ පදිංචිව සිටි, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙකි. පසුගිය 03 වැනිදා ඔහු සිය යතුරුපැදියෙන් දහම් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලංගම බස් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස අසුනේ ඔහුගේ ඥාති සහෝදරියකද ගමන් කරමින් සිට ඇති අතර, නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එම පාසල් දැරිය අනතුර සිදුවූ දිනයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.
අනතුරින් දැඩි තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ සිසුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබුණද, සතියකට පමණ පසු ඔහුද මියගොස් ඇති බව සඳහන් වේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත කුමාරසිංහ මහතාගේ උපදෙස් මත මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.