ත්‍රිකුණාමලය මහ රෝහලේදී අලුත උපන් බිලිඳෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. කප්පල්තුරය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සතහ්‍යසීලන් නිලක්ෂිකා මහත්මිය පවසන්නේ, වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම සහ ප්‍රමාදය හේතුවෙන් තම දරුවාගේ ජීවිතය අහිමි වූ බවයි.
ඇය පසුගිය අප්‍රේල් 08 වැනිදා ප්‍රසව වේදනාව හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුළත් කර ඇත. රෝහල්ගත වූ අවස්ථාවේ සිටම දැඩි වේදනාව, කොන්දේ අමාරුව සහ රුධිර වහනය පිළිබඳව වාට්ටු කාර්ය මණ්ඩලයට කිහිප වතාවක් දැනුම් දී තිබුණද, වෛද්‍යවරුන් වර්ජනයක නිරතව සිටින බව පවසමින් නිසි වෛද්‍ය පරීක්ෂාවක් සිදු නොවූ බව ඇය චෝදනා කරයි.
පළමු දරු ප්‍රසූතියක් බැවින් තව කාලය ඇති බව වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසා තිබූ අතර, තත්ත්වය බරපතළ වුවද වෛද්‍යවරයෙකු විසින් විශේෂ අවධානයක් යොමු කර නොමැති බවද ඇය සඳහන් කළාය.
අප්‍රේල් 09 වැනිදා උදෑසන වන විට ඇයගේ තත්ත්වය තවත් දරුණු වී අධික ලෙස රුධිර වහනය ආරම්භ වී තිබේ. එහිදී ඇය සූතිකාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, උදෑසන 9.54ට පමණ දරුවා ප්‍රසූත කර ඇත. කෙසේ වෙතත්, දරුවා මවට පෙන්වීමකින් තොරව කාර්ය මණ්ඩලය විසින් රැගෙන ගොස් තිබේ.
පසුව සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මළ අපද්‍රව්‍ය කුස තුළට යාම හේතුවෙන් බිලිඳා මියගොස් ඇති බවයි. නිසි වේලාවට වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර සීසර් සැත්කමක් කළේ නම් දරුවාගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව මව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කර ඇත.
නිලක්ෂිකා මහත්මිය පවසන්නේ, රෝහලට ඇතුළත් වූ මොහොතේ සිටම තමන්ගේ අසාධ්‍ය තත්ත්වය පිළිබඳව හෙදියන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සහ වාට්ටුවේ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නද, වෛද්‍යවරයෙකු පැමිණ තමන් පරීක්ෂා නොකළ බවයි. වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතව සිටින බව පමණක් තමන්ට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුවූ බවයි. රාජ්‍ය සේවයේ වගකීම් පැහැර හැරමින් පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔවුහු ඉල්ලා සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා ත්‍රිකුණාමලය පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා එය වරාය පොලීසිය වෙත යොමු කර තිබේ.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැරීම සහ විනය විරෝධී හැසිරීම යන චෝදනා මත අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවය තාවකාලිකව තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.
එමෙන්ම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මෑත කාලය තුළ ත්‍රිකුණාමලය මහ රෝහලෙන් මෙවැනි බිලිඳු මරණ කිහිපයක්ම වාර්තා වී ඇති බවත්, එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට කඩිනම් නීතිමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.