බගවන්තලාව පොලිසිය ඉදිරිපිට සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, නවතා තිබූ ලොරි රථයක් අසල පණ ගන්වා තිබූ පෞද්ගලික බස් රථයක් රියැදුරෙකු නොමැතිව ඉදිරියට ධාවනය වී ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය අසල සිටි තරුණයා බස් රථය සහ ලොරිය අතරට මැදිවී බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි නළ ළිං අලුත්වැඩියා කාර්මික ශිල්පියෙකු බවයි වාර්තා වන්නේ.
සිද්ධියට පෙර නළ ළිං අලුත්වැඩියා සේවකයන් පිරිසක් රැගත් ලොරි රථය බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නවතා තිබූ අතර, ඒ ආසන්නයේ තිබූ බස් නැවතුම්පොළක හැටන් බලා ධාවනය කිරීමට නියමිත පෞද්ගලික බස් රථයක රියැදුරා වැකුම් පීඩනය පිරවීම සඳහා බස් රථය පණ ගන්වා තිබූ බව සඳහන්.
පසුව රියැදුරා අසුනෙන් බැස පිටතට ගොස් සිටියදී, බස් රථය එකවරම ඉදිරියට ධාවනය වී ලොරි රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
රියැදුරා නොමැතිව බස් රථය පණ ගන්වා තැබීම සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියැදුරා බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.