Breaking

Post Top Ad

Wednesday, June 10, 2026

සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවමක්

 හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ දූෂණ නඩු හතරකට අදාළව කොළඹ මහාධිකරණය අද (09) තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ලබාදුන් තීන්දුවට අනුව, සරණ ගුණවර්ධන මහතා එම චෝදනාවලට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. නඩු හතර සඳහා සමස්තයක් ලෙස වසර 72ක සිරදඬුවමක් නියම කර ඇති අතර, එය එකවර ක්‍රියාත්මක වන පරිදි වසර 16ක කාලයක් තුළ ගෙවී යනු ඇත.


මීට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ගෙවීමටද අධිකරණය නියෝග කර ඇත.


මෙම නඩු ගොනු කර තිබුණේ 2006 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවකට අදාළවය. ආයතනය සඳහා කුලී පදනම මත වාහන තුනක් ලබාගැනීමේදී වාහන හිමිකරුවන්ට අයුතු වාසි සැලසීමෙන් රජයට මූල්‍යමය අලාභයක් සිදුකළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබිණි.


තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ හා වංචා රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන අතර, එවැනි ක්‍රියාකාරකම් රට බංකොලොත් තත්ත්වයට පත්වීමටද හේතු වී ඇති බවයි.


පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සහ කරුණු සාධාරණ සැකයකින් තොරව චෝදනා සනාථ කරන බව අධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව, විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කෙරිණි.


මේ අතර, හොරණ මහජන බැංකු ශාඛාවෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.


54 හැවිරිදි නන්දන සරත් කුමාර නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නේ, සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.


ඉදිරියේදී පොදු දේපළ පනත යටතේ සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර ඇත.


ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු එළඹෙන 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

Post Top Ad

Pages