අධිකරණ නියෝගයක් අනුව සිය භාරයේ සිටි සහෝදරයාගේ දියණියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගේ ඇප අවලංගු කර ඔහු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි මහත්මිය නියෝග කර තිබේ.
සැකකරු අම්පාර උහන පොලිස් බලප්‍රදේශයට අයත් වෑරැංකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ප්‍රදේශයේ විහාරස්ථානයකට අනුබද්ධ දහම් පාසලක ප්‍රධානාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වසර කිහිපයකට පෙර අධිකරණය ලබාදුන් නියෝගයක් මත අදාළ දැරියගේ භාරකාරත්වය මෙම සැකකාර බාප්පා වෙත පවරා තිබූ අතර, එම නිවසේ පදිංචිව සිටි දැරිය නිවසේ අනෙකුත් සාමාජිකයන් නොසිටි අවස්ථාවලදී දිගින් දිගටම ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
සිද්ධිය තවදුරටත් දරාගත නොහැකි වූ දැරිය මේ පිළිබඳව සිය පාසල් මිතුරියන්ට පවසා ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත තම සහෝදරයාටද කරුණු දැනුම්දී ඇත. පසුව ගම්වාසීන්ටද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව උහන පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, උහන පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය විසින් සිද්ධියේ බරපතළත්වය නිසි ලෙස හඳුනා නොගෙන අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මුල් අවස්ථාවේදී සැකකරුට ඇප හිමිවී තිබුණි.
ඉන් අනතුරුව විමර්ශන ප්‍රමාණවත් නොවන බව පවසමින් දැරියගේ පියා අම්පාර දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ මහත්මියට සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පවත්වන ලෙස උපදෙස් ලබාදී ඇත.
නැවත ආරම්භ කළ පුළුල් විමර්ශනයේදී අදාළ දැරිය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී තිබේ.
එම නව සාක්ෂි හා වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මීට පෙර ලබාදී තිබූ ඇප අවලංගු කර ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල් විමර්ශන සිදු කළ උහන කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහි ස්ථානාධිපතිනිය වෙනත් පොලිස් ස්ථානයකට මාරු කිරීමටද පියවර ගෙන තිබේ.
නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත හා අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂිකා තරංගා, පොලිස් සැරයන් වීරසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන උෂානි හා සචිනි යන නිලධාරීහු මෙම විමර්ශන සඳහා එක්ව සිටිති.