පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙන් තරුණ පියෙකුගේ ජීවිතය අහිමිවී, තම දියණිය ආරක්ෂා කිරීමට මැදිහත් වූ පියෙකුට නීතියේ රැහැනට කොටුවීමට සිදුවූ පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිදුවීම පසුගිය 07 වැනිදා රාත්‍රියේ අම්බලන්තොට, මල්පෙත්තාව පළමුවැනි පටුමඟ ප්‍රදේශයේ නිවසකදී සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත්වූයේ ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පසිඳු උදයන්ග අබේරත්න නමැති තරුණයෙකි. “වැලි පසිඳු” යන අන්වර්ථ නාමයෙන්ද ප්‍රකටව සිටි ඔහු කුඩා දරුවකුගේ පියෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය තරුණයා සහ ඔහුගේ බිරිඳ අතර දිගු කලක් තිස්සේ පවුල් ආරවුල් පැවති බව අනාවරණය වී තිබේ. එම ගැටුම් හේතුවෙන් බිරිඳ සිය පියාගේ නිවසේ රැකවරණය පතා නවාතැන් ගෙන සිට ඇති අතර, එම තත්ත්වය තුළ කෝපයට පත් පසිඳු තම ටිපර් රථය පදවාගෙන මාමණ්ඩියගේ නිවස වෙත පැමිණ ඇත.
එහිදී ඔහු නිවසේ ගේට්ටුවේ රථය හප්පා අලාභහානි සිදුකර නිවස තුළට ඇතුළු වී ඇති බවත්, අනතුරුව බිරිඳ සමඟ උණුසුම් බහින්බස්වීමක් ඇතිවී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. තත්ත්වය දරුණු වීමත් සමඟ බිරිඳ ආරක්ෂාව සඳහා නිවසේ කාමරයකට දිවගොස් සැඟවීමට උත්සාහ කර ඇතත්, ඇය පසුපස ගිය සැමියා එහිදීද ඇයට පහරදී ඇති බව සඳහන් වේ.
සිය දියණියට එල්ල වූ ප්‍රහාරය දැක සිටි පියා, ඇය බේරාගැනීමේ අරමුණින් අතට හසුවූ පොල්ලකින් බෑනාගේ හිසට පහරක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පසිඳු අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රදේශයේ ගොඩවැලි කැණීම් ව්‍යාපාරයක නිරතව සිටිමින් යන්ත්‍රෝපකරණ රැසකට හිමිකම් කී තරුණ ව්‍යාපාරිකයකු වූ ඔහුගේ හදිසි මරණය ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇතිකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාව යටතේ සැකකාර පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත් සුදර්මා රංජනි විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි එම්.පී. අරුණලාල් මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මොහොතක කෝපය සහ නොඉවසීම හේතුවෙන් සිදුවූ මෙම ඛේදවාචකය, පවුල් ආරවුල් ප්‍රචණ්ඩත්වයට පත් වූ විට එහි ප්‍රතිවිපාක කෙතරම් දරුණු විය හැකිද යන්න සමාජයට යළිත් සිහිපත් කරවන සංවේදී සිදුවීමක් බවට පත්ව තිබේ.