වනාතවිල්ලුව, කල්අඩිය ප්‍රදේශයේ පිහිටි වතුයායකට කජු එකතු කිරීම සඳහා අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට එහි මුරකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සේරක්කුලිය කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නිරතව සිටි 36 හැවිරිදි ප්‍රදීප් සුසන්ත නමැති දෙදරු පියෙකි.
පොලිස් විමර්ශන අනුව, හලාවත වැවිලි සමාගමට අයත් සහ වර්තමානයේ පෞද්ගලික බදුකරුවෙකු යටතේ පවතින අක්කර 25ක පමණ වතුයායකට තවත් පුද්ගලයින් දස දෙනෙකු සමඟ කජු එකතු කිරීම සඳහා ඔහු ඇතුළු වී ඇති අතර, එහිදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.
ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කලපු ධීවර කටයුතු අඩාල වී තිබීමත්, මත්ස්‍ය අස්වැන්න පහත වැටීමත් නිසා පවුලේ ආර්ථික තත්ත්වය දැඩි ලෙස පිරිහී ගොස් තිබූ බව වාර්තා වේ. එම තත්ත්වය හමුවේ ජීවනෝපාය සොයා ගැනීමේ අරමුණින් මියගිය පුද්ගලයා ඇතුළු පිරිස කජු එකතු කිරීම සඳහා එම වත්තට ගොස් ඇති බව සඳහන් වේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ වන 32 හැවිරිදි අනුෂා කුමාරි මහත්මිය පවසන්නේ, තම වැඩිමහල් දියණිය සේරක්කුලිය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර, දරුවන්ගේ අධ්‍යාපනික වියදම් පවා සපුරා ගැනීමට නොහැකි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටි බවයි. තම සැමියා සොරෙකු නොවන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ගත හැකිව තිබියදී වෙඩි තැබීම අසාධාරණ ක්‍රියාවක් බවත් ඇය සඳහන් කළාය.
සිද්ධිය ඇසින් දුටු බව පවසන මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා වන 29 හැවිරිදි දිල්හාන් පෙරේරා පවසන්නේ, ඔවුන් අලුයම් කාලයේදී වත්තට ඇතුළු වූ අවස්ථාවේ විදුලි පන්දම් රැගෙන පැමිණි මුරකරුවන් පිරිසක් ඔවුන්ට නොදුවන ලෙස අණ කළ බවයි. එහිදී වායු රයිෆලයකින් වෙඩි තැබීමක් සිදුව ඇති අතර, පසුව කණ්ඩායමේ අයෙකු මුරකරුවන් විසින් අල්ලාගෙන තිබූ බව ඔහු පවසයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, අල්ලාගත් පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කළ තම සහෝදරයාද මුරකරුවන් විසින් අල්ලාගෙන මුර කුටිය වෙත රැගෙන ගොස් ඇත. පසුව දුරකථනය ඔස්සේ සිදුකළ විමසීමකදී, සහෝදරයාට වෙඩි වැදී වත්ත තුළ සිටින බව දැනගත් බවත්, පසුදා අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයක තිබී ඔහුගේ සිරුර සොයාගත් බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ මුරකරුවන් විසින් ඔහුව රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවත්, අනතුරුව සිද්ධිය වසන් කිරීම සඳහා සිරුර වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දමා ඇති බවත්ය.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.