Breaking

Post Top Ad

Sunday, June 14, 2026

ගිනි භටයෙකු කසළ වළකට වැටී පිළිස්සීමෙන් ජීවිතක්ෂයට

 

තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයට අනුයුක්තව සේවය කළ ගිනි භටයෙකු සිය නිවසේ පිටුපස තිබූ කසළ වළක ගිනි ඇවිලීමක් අතරතුර බරපතළ පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියෙකු වන නුවන් ප්‍රසන්න රත්නායක මහතාය.


පොලිසිය සඳහන් කළේ පසුගිය මැයි 29 වන දින මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ රත්නායක මහතා තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජුනි 8 වන දින මියගොස් ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, නිවස පිටුපස පිහිටි කසළ වළකට පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ කිරීමේදී ඔහු අවාසනාවන්ත ලෙස ගිනිගත් වළ තුළට ඇද වැටී ඇති බවයි. එම අනතුරෙන් සිරුරේ විශාල ප්‍රදේශයක් පිළිස්සී බරපතළ තුවාල සිදුව තිබේ.


මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ පුත්‍රයා ප්‍රකාශ කළේ, සිය මවගේ දැනුම්දීමකට අනුව පියා සොයා බැලීමේදී නිවස පිටුපස කසළ වළ තුළ ඔහු පිළිස්සෙමින් සිටිනු දැක ඇති බවයි. අනතුරුව අසල්වැසියන් සහ ඥාතීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දමා වහාම රෝහලට ඇතුළත් කළද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව සඳහන් විය.


මියගිය අයගේ බිරිඳ සහ සහෝදරයා ද මෙහිදී සාක්ෂි ලබා දී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් සිදුකර තිබේ.


ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා, ගිනිගත් කසළ වළකට වැටීමෙන් සිදුවූ බරපතළ පිළිස්සුම් හේතුවෙන් මෙම මරණය හදිසි අනතුරු මරණයක් ලෙස තීරණය කර ඇත.

Post Top Ad

Pages