සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි ව්‍යාපාරිකයකුගේ නිරුවත් දර්ශන රහසිගතව වීඩියෝගත කර එම දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව කියන යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
පොලිසිය සඳහන් කළේ, සැකකාරිය විසින් අදාළ ව්‍යාපාරිකයාගේ නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් මාර්ගයෙන් ඔහුට යවා, එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මෙන්ම ඔහුගේ බිරිඳට ද යොමු කරන බවට තර්ජනය කර ඇති බවයි.
එම තර්ජන මත ව්‍යාපාරිකයාගෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක පමණ මුදලක් බැංකු ගිණුමකට බැර කරවාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාරිය සහ සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටල් කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.