Breaking

Post Top Ad

Thursday, June 11, 2026

විෂ මත්ද්‍රව්‍ය පැට්ටුවක් බඩේ දී පිපිරී රිය සහායක මරුට

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල – මාකුඹුර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී බස් රථයක රිය සහායකයකුගේ ආමාශය තුළ තිබූ බවට සැක කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් පුපුරා යාම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ මොදරවාන, රුක්ත්තෙනගහ කොරටුව ප්‍රදේශයේ පදිංචි බස්නායකගේ ගුණරත්න නමැති 51 හැවිරිදි එක්දරු පියෙකි.


මරණකරු තංගල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක තාවකාලික රිය සහායකයකු ලෙස සේවය කර ඇති අතර, කොළඹ ප්‍රදේශයේ රාත්‍රිය ගත කිරීමෙන් අනතුරුව මාකුඹුර සිට තංගල්ල බලා පැමිණ තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


බස් රථය තංගල්ලට පැමිණීමෙන් පසු එහි යතුරු සහ දෛනික ආදායම් මුදල් බස් රථ හිමිකරු වෙත භාරදුන් ඔහු, තංගල්ල නගරයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් ඇත.


එහිදී හදිසියේ අසනීප තත්ත්වයට පත්වූ ඔහු පසුව තංගල්ල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇති අතර, එහිදී බිම ඇද වැටී වියරු ස්වභාවයෙන් හැසිරී ඇති බව සඳහන් වේ. අනතුරුව ඔහුගේ අත් සහ පා බැඳ 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.


රෝහල්ගත කිරීමෙන් පැය දෙකකට පමණ පසු ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා විසින් තංගල්ල මූලික රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කර ඇත.


ඉන් අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ ආමාශය තුළ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ග්‍රෑම් 20ක පමණ බරකින් යුත් පැකට් දෙකක් සොයාගෙන ඇති අතර, ඒවා අතරින් එක් පැකට්ටුවක් පුපුරා ගොස් තිබූ බව අනාවරණය වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Top Ad

Pages