හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදන කර්මාන්තශාලාවක ඊයේ පෙරවරුවේ ඇති වූ දරුණු ගින්නකින් සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ කර්මාන්තශාලාව තුළ සේවකයින් 80කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටි බව වාර්තා වේ. මියගිය අය අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බව ද තහවුරු කර ඇත.
ගින්න මැඩපැවැත්වීමෙන් පසු ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබී සොයාගත් මෘත ශරීර දැඩි ලෙස පිළිස්සී තිබූ බැවින් ඔවුන්ගේ අනන්‍යතාව වහාම හඳුනාගැනීමට නොහැකි වී තිබේ. එම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර, තුවාල ලැබූවන් අතර අධික දුම් ආඝ්‍රාණය සහ පිළිස්සුම් හේතුවෙන් ප්‍රතිකාර ලබන කාන්තාවක් ද සිටින බව සඳහන් වේ.
මූලික විමර්ශනවලට අනුව කර්මාන්තශාලාවේ විදුලි පංකාවක ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක පළ කරයි. ගොඩනැගිල්ලේ පළමු මහලෙන් ආරම්භ වූ ගින්න, හිස්වැසුම් නිෂ්පාදනය සඳහා භාවිතා කළ රිජිෆෝම්, ටිනර් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වැනි ඉක්මනින් ගිනිගන්නා ද්‍රව්‍ය හේතුවෙන් ඉතා වේගයෙන් සමස්ත ගොඩනැගිල්ල පුරා පැතිර ගොස් තිබේ.
කර්මාන්ත පුරය තුළ ස්ථිර ගිනි නිවීමේ ඒකකයක් නොතිබීම හේතුවෙන් ගින්න පාලනය කිරීමේ කටයුතු අපහසු වී තිබූ අතර, පසුව දෙහිවල–ගල්කිස්ස සහ කෝට්ටේ මහ නගර සභාවලට අයත් ගිනි නිවන රථ හයක් එම ස්ථානයට කැඳවා තිබේ. යුද හමුදාව, පොලීසිය, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය පහකට ආසන්න කාලයක් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත.
ගින්නේ දැඩි ස්වභාවය හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කොටස් කඩා වැටී ඇති අතර, යන්ත්‍ර සූත්‍ර රැසකට සහ අවට විදුලි රැහැන් පද්ධතියටද දැඩි හානි සිදුව තිබේ. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, ගින්නෙන් සිදුවූ මූල්‍ය හානිය මෙතෙක් නිශ්චිතව තක්සේරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගිනි අංශයේ විශේෂඥයන් සහ හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.