ඉන්දියාවේ තංජාවූර් දිස්ත්‍රික්කයෙන් හද කම්පා කරවන අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ. දැඩි උණුසුම යටතේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවීම හේතුවෙන් හුස්ම හිරවී හය හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මියගොස් ඇත්තේ තමන් (Thaman) නම් කුඩා දරුවෙකි.
වාර්තා වන ආකාරයට, පසුගිය ඉරිදා දින දරුවා සිය ලොකු තාත්තා සහ ඔහුගේ පුත්‍රයා සමඟ මෝටර් රථයකින් පිටතට ගොස් ඇති අතර, නැවත නිවසට පැමිණි අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදුව ඇත. රථයෙන් බැසීමේදී ලොකු තාත්තා තම පුත්‍රයා පමණක් රැගෙන නිවසට ගොස් ඇති අතර, කුඩා දරුවා පසුපස අසුනේ රැඳී සිටින බව ඔහුට නොදැනී තිබේ. ඉන් අනතුරුව මෝටර් රථයේ සියලු දොරවල් සහ ජනෙල් වසා දමා ඔහු නිවස තුළට ගොස් ඇත.
ටික වේලාවකට පසු දරුවා නිවසේ නොමැති බව පවුලේ සාමාජිකයන්ට දැනගැනීමත් සමඟ ඔවුන් දැඩි කලබලයට පත්ව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ. අසල්වැසි නිවාස, සෙල්ලම් කරන ස්ථාන සහ අවට ප්‍රදේශ පුරා සෝදිසි කළද දරුවා සොයා ගැනීමට නොහැකි වී ඇත.
අවසානියේ පස්වරු 7.00ට පමණ මෝටර් රථය පිළිබඳ ඇති වූ සැකයක් මත එහි දොර විවෘත කර බැලීමේදී දරුවා සිහිසුන්ව සිටිනු දැක තිබේ. වහාම පරීක්ෂා කිරීමේදී ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව අනාවරණය වී ඇත. වසා තිබූ මෝටර් රථය තුළ ඇති වූ අධික උෂ්ණත්වය සහ ඔක්සිජන් හිඟය මෙම මරණයට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහල වෙත යොමු කර තිබේ.
මේ අතර, මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා වාහනයක් අතහැර යාමට පෙර එහි දරුවන් හෝ වෙනත් පුද්ගලයන් සිටීදැයි කිහිප වතාවක්ම පරීක්ෂා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් උණුසුම් කාලගුණයේදී වසා ඇති වාහනයක ඇතුළත උෂ්ණත්වය ඉතා කෙටි කාලයකදී ජීවිතයට අනතුරුදායක මට්ටමකට ඉහළ යා හැකි බැවින් මේ පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ලෙසද ඔවුන් අවධාරණය කරයි.