Breaking

Post Top Ad

Saturday, July 25, 2026

7 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ මාමා අවුරුදු 28 කට හිරේට

වසර 2022දී වයස අවුරුදු හතක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා හතරකට වරදකරු බවට තීන්දු වූ 41 හැවිරිදි පුද්ගලයෙකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත. එම දඬුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට බදුල්ල මහධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොස්කි මහතා පසුගියදා නියෝග කළේය.


සිර දඬුවම් නියම වූ පුද්ගලයා කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග මුදියන්සේලාගේ ප්‍රේමරත්න නොහොත් "සාන්ත මාමා" ලෙස හඳුන්වනු ලබන අවිවාහක අයෙකු බව රිදීමාලියද්ද පොලිසිය සඳහන් කළේය.


විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතරෙන් එක් එක් චෝදනාවට වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර, එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් සමස්ත චෝදනා සඳහා රුපියල් 20,000ක දඩ මුදලක් ද නියම කෙරිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාව සඳහා මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් විඳීමටද නියම වී ඇත.


තවද, අපයෝජනයට ලක්වූ දරුවාට වන්දි ලෙස රුපියල් 250,000ක් ගෙවන ලෙස මහධිකරණය නියෝග කර තිබේ. එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සුළු සිර දඬුවමක් ද විත්තිකරුට නියම වන බව තීන්දුවේ සඳහන් වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, එවකට මහියංගන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී.එස්. පලිපාන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකර තිබේ.


රිදීමාලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. වීරකෝන් මහතා සහ කාන්තා පොලිස් සැරයන් ජනිතා (1751) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

Post Top Ad

Pages